අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු අභිරහස් ලෙස මියයයි

0
345
ARUNA LK NEWS 19/04/23

 

ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන්ට කෙටි පණිවුඩයක් යොමුකර අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි මුල්ලේරියාව පොලීසිය පැවසූ බව කියවෙන පුවතක් අරුණ පුවත්පත් වාර්තාවක සඳහන් වේ.

මෙලෙස මියගොස් ඇත්තේ නාත්තන්ඩිය මයිලව, දුටුගැමුණු මාවත ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙකු වූ මුල්ලේරියාව හිඹුටාන පටුමග ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් 28 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා ගාලු මුවදොර අරගලයේ ප්‍රථම කූඩාරම සවි කළ පුද්ගලයා බවටද වාර්තාවැඩිදුරටත් සඳහන් කරයි.

ඊයේ (18) දින මියගිය තරුණයා තමන් ජීවිතයෙන් සමුගන්නා බවට මිතුරන් කිහිප දෙනෙකුට කෙටි පණිවුඩ යොමුකර තිබේ.
එය දුටු මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයකු ඔහුගේ සහෝදරයෙකු සමග මියගිය තරුණයා තාවකාලිකව නවාතැන් ගෙන සිටි හිඹුටාන පටුමග ප්‍රදේශයේ කාමරය වෙත පැමිණ පරීක්ෂා කිරීමේදී එහි දොර වසා තිබෙන අයුරු දැක ඇතැයි පොලිසිය පවසා ඇත,

නිවෙස්හිමියාගෙන් අමතර යතුරක් ඇත්දැයි විමසීමේදී එම යතුරත් මියගිය පුද්ගලයා සතුව තිබෙන බවට දැනුම්දීමෙන් අනතුරුව මිටියක් ආධාරයෙන් දොර කඩා ඇතුළුවී පරීක්ෂා කිරීමේදී ඔහු ඇඳ මත සිහිසුන්ව සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.
ඒ අනුව තරුණයාව මුල්ලේරියාව රෝහලට රැගෙන ඒමෙන් පසු වෛද්‍යවරුන් පරීක්ෂා කිරීමේදී ඔහු මියගොස් සිට ඇතැයි පොලීසිය පැවසු බව එම වාර්තා වල කියවේ.

මියගිය අය පරිහරණය කළ බවට විශ්වාස කරන, ඇඳ මත තිබී භාවිතයට ගෙන ඇති වර්ග දෙකකින් යුත් වේදනානාශක සහ නිදිපෙති කාඩ්පත් කිහිපයක්, දුම්වැටි පැකට්ටුවක් සහ ලයිටරයක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

මියගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොලොන්නාව හදිසි මරණ පරීක්ෂක කාංචනා විජේනායකගේ නියෝග මත IDH රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කුලරත්න විසින් සිදුකර තිබේ.

වෛද්‍ය වාර්තා සහ සාක්ෂි මත මරණයට හේතුව විවෘත තීන්දුවක් ලබාදීම සිදු කෙරුණි.

මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කළ බව පොලීසිය පැවසීය.

මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජී. එස් සුසන්තගේ උපදෙස් මත ඉදිරි විමර්ශන සිදුකරනු ලබන බව වැඩිදුරටත් එම වාර්තා අනුව පැවසේ.

( ARUNA LK NEWS – 19/04/23 )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here